යම් කිසි වනයක සඳුන් ගස් තියෙනවා නම්, ඒ වනයේ වටිනාකම වැඩියි.
සඳුන් ගස ඉතාම සුවඳයි, කියලා ඔබ දන්නවා. ඒ සුවඳ සඳුන් ලී කැබෙල්ලෙත් තියෙනවා.
සඳුන් ගඟ කපන කොට තමයි වඩාත් සුවඳ
විහිදෙන්නේ. ඒ නිසා තමයි -
දිගත පතල
සුවඳැති සොඳ සඳුන් කඳ
සිඳින මඬින එක ලෙස පැතිරෙයි
සුවඳ
කියලා සුභාෂිත කතුවරයා ලියලා තියෙන්නේ. සඳුන් ගහ වටිනා
බෙහෙතක් විදියට පාවිච්චියට ගන්නවා. එය ඉතාම සීතල ජාතියක්. ඒ වගේ ම පැරණි කාලයේ
ශරීරාලේපයක් විදියටත් පාවිච්චි කරලා තියෙනවා.
මේ සඳුන්
ගහ කපන ෙකාට - ඒ කපන ආයුධයත් සුවඳවත් කරනවා. සඳුන් ගස් වගේ සුවඳවත් මනුස්සයොත්
සමාජයේ ඉන්නවා. සඳුන් ගස් වනාන්තරවල සොයා ගන්න අමාරු දුර්ලභ දෙයක්. ඒ වගේ මිනිස්
සමාජයේත් හොඳ මිනිස්සු සොයාගන්න අමාරුයි නේද? ඔබ ටිකක් හිතල බලන්න සඳුන් ගස් වගේ
මිනිස්සු මොන වගේ ද කියලා. අපි දන්න සමාජයේ - ජීවිතේ මුල ඉඳලා ගුණධර්ම පුහුණු
කරගත්ත උදාර මිනිස්සු - අතරින් පතර හරි ඉන්නවා. ඔවුන්ගේ සිතුම් පැතුම් ක්‍රියාකාරකම්
හා කථා බහ සමාජයට හිතකරයි. තම වටාපිටාවේ ජීවත්වන අයට කරදරයක් නැහැ. ඔහුගේ ඇසුර
සමාජය ප්‍රිය කරනවා. ඔහුගේ අභ්‍යන්තරය හොඳයි. හදවත හොඳයි. තමන් ඇසුරු කරන අයට යහපත්කම සිද්ධ වෙනවා දකින්න
කැමතියි. බොරුවට මූණ ඉච්ඡාවට නොවෙයි. හදවතින් ම අනුන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරනවා.
යම් උදව්වක් කරන්න අවස්ථාව පැමිණියාම මඟ අරින්නේ නැහැ. අනුන්ටත් හැකි පමණින්
යහපතක් කරමින් තමනුත් සුවසේ වෙසෙනවා. ඇතැම් විට මේ වගේ මනුස්සයන් ගැන සමාජය ඒ තරම්
දන්නේ නැති වෙන්න පුලුවනි.
මනුස්සයෙක්
ලෙස ඔබ නියම ස්වභාවය අනිත් අයට තේරුම් ගන්න ලැබෙන්නේ ඔබේ ක්‍රියාකාරකම් අනුවයි.
ඇතැම් විට ප්‍රකෘති ස්වභාවය යටපත් කරගෙන සමාජයට හොඳ මූණ පෙන්නගෙන ව්‍යාජ ලෙස ජීවත්
වෙන්නත් කෙනෙකුට පුලුවනි. මහ පුදුම විදිහේ වංචාකාරී අය ඉතාම හොඳ පුද්ගලයන් ලෙස
සමාජයේ පෙනීසිටින බව ඔබත් දැකලා ඇති. සමහරුන්ගේ කියුම් - කෙරුම් දකින අහනකොට මට
හිතෙන්නේ ඔවුන් මිනිස් සමාජයේ සාමාජිකත්වයට ගැලපෙන්නේ නැහැ කියලායි. අපි යම් යම්
දේ කාල බලල ඒවායේ රස දැන ගන්නවා. ඒත් මිනිස්සු මොන වගේද කියලා දැනගන්න කාල
බලන්න බැහැනේ.
ඒත් ඔබට
මේ දේ කරන්න පුලුවනි. ඔබ ඇසුරු කරන අය - ඇත්තටම හොඳ ගුණගරුක පුද්ගලයෝ ද කියලා
දැනගන්න හැකිවෙන්නේ ඔවුන් විපත්තියේ දී සහ සම්පත්තියේ දී ක්‍රියා කරන්නේ කොහොමද
කියලා බලල. අපි හොඳයි කියලා හිතාගෙන හිටපු සමහර අයට යම් යම් විදියට මදි පුංචිකම්
වෙනකොට, ඔවුන්ගේ ප්‍රකෘති ස්වභාවය මතුවෙලා මහා දරුණු ලෙස ක්‍රියා කරනවා. කථා බස්
කරනවා. තමන්ට වෙච්ච මදි පුංචිකමේ ප්‍රමාණයට අනුව තවත් කෙනෙක් විනාශ කරන්න වුනත්
මාර්ග සොයනවා. කොකාගේ උනත් සුද පේන්නේ ඉගිලෙන කොට කියල සමාජයේ කථාවක් තියෙනවනේ. හිතවතුනි,
ජීවිතේට නොයෙකුත් කම්‍කටොලු විපත්ති පැමිණේවි. ඒවාට උදාර මනුස්සයෙක් ලෙස මුහුණ
දෙන්න. නිවැරදි ආකාරයෙන් ඒවා ජයගන්න.
ඔබ නමැති
මිනිසා විනාශ කරන්න ඔබ විසින් ම මුල් පොරෝ පහර ගහන්න එපා. අනිත් අයට අවංක වෙන්න.
මුලින් ම තම්න්ට අවංක වෙන්න. ඔබ වංචාකාරී ලෙස ඔබම රවටා ගන්නේ ඇයි? අද කෙසේ වෙතත්
හෙට ඔබේ ජීවිතේ ගැන ඔබටම වග කියන්න සිදුවෙන බව මොහොතකටවත් අමතක කරන්න එපා.
සඳුන් ගහ කපන්න කපන්න - පොරවත් සුවඳවත් කරනවනේ. එහෙම නම්
උදාර මනුස්සයාත් විපත්තියේ දී උනත් තවත් කෙනෙකුට පහත් විදියට කථා බස් කිරීමක් වත්
කරන්නේ නැහැ. ඒක තමයි උදාර ගතිය. ඒක තමයි පිරිච්ච ගතිය. ඉතිං ඔබට මේ කරුණු කියලා
මම යෝජනා කරන්නේ, ඔබත් සුවදැති සඳුන් ගහක් වගේ උදාර මනුස්සයෙක් වෙන්න කියලයි.
ඔබට සියලු යහපත සිද්ධ වේවා!
හර්ෂ සඳරුවන්
ගිරිඋල්ල නැණසල
No comments:
Post a Comment